පද්ධති ඒකකය එකලස් කිරීම (Assemble system unit)

                        පරිගණක දෘඩාංග(Computer hardware) එකලස් කර පරිගණක යන්ත්‍රයක්(Computer) සාදා ගැනීම ඉතාමත් පහසු ,ලාභදායී සහ විනෝද ජනක ක්‍රියාවලියකි.එහෙත් දැඩි අවධානයක් සහ අවබෝධයක් සහිතව නිවැරදි අයුරින් සියළුම කොටස් මනාව එකලස් කරගත යුතුය.බොහෝ විට කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය.ඇණ සවිකිරීම සහ වෙනත් කටයුතු සඳහා හොඳ තත්වයේ ආම්පන්න(Tools) භාවිතා කර නිසි පරිදි ක්‍රමානුකූලව භාවිතා කර සිදුකර ගත යුතුය.බොහෝ විට ප්‍රති-ස්ථිතික අත් පළඳනාවක්(Anti-static wrist band) භාවිතා කිරීම දෘඩාංග වල ආරක්ෂාවට හොඳය.
                   පද්ධති ඒකකය(System unit) එකලස් කිරීම සඳහා යොදාගනු ලබන සියළුම දෘඩාංග(Hardware) කොටස් පිළිබඳව සහ ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය සවිස්තරව පැහැදිලි අයුරින් ඉහතින් දක්වා ඇති අතර ඒවා නිසි පරිදි එකිනෙකට ගැලපෙන අයුරින් සහ තමාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට නිවැරදිව සොයා බලා තෝරා ගත යුතුය.
                        බොහෝවිට පළමුවෙන්ම අප තෝරා ගතයුතු දෘඩාංග කොටස් වශයෙන් අපගේ අවශ්‍යතාවයට සරිලන ප්‍රොසෙසරයක්(Processor) සහ ඊට ගැළපෙන නවීන අංග සහිත මව්පුවරුවක්(Mother board) තෝරා ගතයුතුය.ඉන් පසුව මව්පුවරුවට ගැළපෙන පරිදි රැම් පරිපථය(RAM) මිලදී ගතයුතු අතර අවශ්‍ය ධාරිතාවය(Capacity) සහ වේගය(Speed) ගැන පළමුව සැළකිලිමත් විය යුතුය.බොහෝ විට වීඩියෝ කාඩ්පත(Video card) සහ සවුන්ඩ් කාඩ්පත (Sound card) මව්පුවරුව මත ඔන් බෝර්ඩ්(On board) ආකාරයට පිහිටා ඇති අතර එසේ නොමැති නම් හෝ වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහිත එකක් අවශ්‍ය නම් පමණක් වීඩියෝ කාඩ්පතක් සහ සවුන්ඩ් කාඩ්පතක් මව් පුවරුවට ගැළපෙන පරිදි මිලදී ගත යුතුය.දෘඩ තැටිය(Hard disk) අවශ්‍ය ධාරිතාවයකින් මව් පුවරුවට ගැලපෙන පරිදි තෝරා ගත යුතුය. බල සැපයුම් ඒකකය(Power supply unit) බොහෝ විට කේසිනය(Casing) සමඟ ඇති අතර බල සැපයුම් ඒකකය මව්පුවරුවට සහ වෙනත් දෘඩාංග(Hardware) වලට සහාය දක්වන එකක්දැයි වඩාත් සැළකිළිමත් විය යුතුය.අවශ්‍ය පහසුකම් සහිත සීඩී/ඩීඩීඩී තැටි ධාවකයක්ද මිලදී ගත යුතුය.
                        පළමුවෙන්ම මව්පුවරුව මත ප්‍රොසෙසරය(Processor) සහ හීට් සින්ක්(Heat sink) එක නිවැරදිව සම්බන්ධ කරගන්න.ඉතාමත් කල්පනා කාරීව නිවැරදි ලෙස කිරීමට වග බලාගන්න.සිසිලන පංකාවෙහි(Cooling fan) වයරය මව්පුවරුව මත ඇති සොකටයට(Socket) සම්බන්ධ කරන්න.ඉන් පසු රැම් පරිපථය(Ram) මව්පුවරුව(Mother board) මත සම්බන්ධ කරගන්න.
                        දැන් කේසිනය(Casing) විවර කර එහි පිටුපස කොටසට මව්පුවරුව සමඟ ලබාදෙන ලද බැක් පැනලය(Back panel) සවි කරන්න.දැන් මව්පුවරුව නිවැරදි ලෙස සම්බන්ධක(Mount) මත තබා ඇණ දමා සවිකර ගන්න.ඇණ තද කරන විට කල්පනාකාරීව කරන්න.අනවශ්‍ය ලෙස බලය යෙදීම නිසා මව්පුවරුව පළුදු විය හැක.සාමාන්‍ය තරමට තදකරන්න.කේසිනය සමඟ මව්පුවරුව විදුලි කාන්දු නොවන ලෙස සවි කරන්න.සාමාන්‍යයෙන් සම්බන්ධක උස්ව පිහිටන නිසා විදුලි කාන්දුවක් ඇති නොවේ.දැන් පවර් ස්විචය(Power switch), රී සෙට් ස්විචය(Reset switch), ෆ්රන්ට් යූඑස්බී(Front USB) සහ ඕඩියෝ පෝර්ට්ස්(Audio ports) ඇතුළු ෆ්රන්ට් පැනලයට(Front panel) සම්බන්ධ වන වයර් සහ සම්බන්ධක(Connectors) නිසි පරිදි සවි කරන්න.මේ පිළිබඳ සටහන් මව්පුවරුව මත සහ මව් පුවරුව සමඟ ලැබෙන අත් පොතෙහිද(Manual) පැහැදිලිව සටහන් කර ඇත.

                        පසුව දෘඩ තැටිය සහ සීඩී/ඩීවීඩී ධාවක නිසි පරිදි අවශ්‍ය ස්ථාන වලට ඇණ හෝ සම්බන්ධක මගින් සම්බන්ධ කරන්න.සම්බන්ද කිරීමට ප්‍රථම ඒවායේ ජම්පර් සැකසුම්(Jumper settings) ආදිය සිදුකරන්න.දැන් ඒවාට අයි ඩී ඊ(IDE) හෝ සාටා(SATA) කේබල් ආධාරයෙන් මව්පුවරුවට සම්බන්ධ කරන්න.
                        දැන් බලසැපයුම් ඒකකය නිවැරදිව ස්ථානගත කරන්න.ඉන්පසු නිවැරදි පරිදි මව්පුවරුවට(Mother board), දෘඩ තැටියට(Hard disk), සීඩී/ඩීවීඩී ධාවක(CD/DVD Drives) වලට බල සැපයුම් සම්බන්ධක සවි කරන්න.
                        වීඩියෝ කාඩ්පතක්(Video card) හෝ වෙනත් එක්ස්පැන්ෂන් කාඩ්(Expansion card) පත් සවි කරන්න.ඒවාටද නිසි පරිදි බල සැපයුම්(Power supply) ලබාදෙන්න.
                        අමතර සිසිලන පංකා(Extra cooling fan) යොදාගන්නේ නම් සමහර ඒවාට මව්පුවරුව මගින් හෝ සමහර ඒවාට බල සැපයුම මගින් ද බලය සපයා දිය යුතුය.අමතර සිසිලන පංකා මව්පුවරුවට සම්බන්ධ කළ හැකි තැන් මව්පුවරුව මත සටහන් කර ඇත.
                        සියළුම කොටස් නිසි පරිදි සම්බන්ධ කර ඇත්දැයි මනාව පරීක්ෂා කරන්න.වයර් සහ අනෙකුත් උපාංග ඉඩ කඩ ඇති පරිදි ක්‍රමානුකූලව අසුරන්න.සිසිලන පංකා ආවරණය නොවන පරිදි සකසන්න.සියල්ල පිළිබඳ පරීක්ෂා කර සෑහීමකට පත් වූයේනම් ආවරණය ඇණ දමා සම්බන්ධ කරන්න.දැන් පද්ධති ඒකකය(System unit) සකසා අවසන්.
දැන් මොනිටරය(Monitor), යතුරු පුවරුව(Key board), මවුසය(Mouse), ස්පීකර්(Speaker), ප්‍රින්ටරය(Printer) ඇතුළු සියළුම ආදාන(Input), ප්‍රථිදාන(Output) උපාංග පද්ධති ඒකකය වෙත සම්බන්ධ කර ගන්න.නිවැරදිව සම්බන්ධ කර බල සැපයුම් කේබල්(Power cable) මගින් ප්‍රධාන විදුලි පද්ධතියට නිවැරදිව සම්බන්ධ කර යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න.දැන් මෙහෙයුම් පද්ධතිය(Operating system) ස්ථාපනය(Install) කිරීම සඳහා පරිගණකය සූදානම්.

Comments

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)